Monday, August 15, 2016

පළමුවන පරාක්‍රමබාහු රජු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පළමුවන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු) රජු
පොළොන්නරුවේ රජ
මහා පරාක්‍රමබාහුගේ හෝ පුලස්ති ඍෂිවරයාගේ යැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පොළොන්නරුවෙහි පිහිටා ඇති පිළිමය
රාජ්‍ය කාලය 11531186
පූර්වප්‍රාප්තිකයා දෙවන ගජබාහු

දෙවන විජයබාහු
පියා මානාභරණ රජ
මව රත්නාවලී බිසව
උපත 1123
පුන්ඛගම/ දැදිගම
මරණය 1186
පොළොන්නරුව
පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු;[1][2] 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය " යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.[3]
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.[4] දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.

පසුබිම

12වන සියවසෙහි මුල් අවදිය

993 හිදී සිදුවූ පළමුවන රාජ රාජ චෝල ගේ ශ්‍රී ලංකා ආක්‍රමණයට අනතුරුව, ශ්‍රී ලංකා දිවයින, දකුණු ඉන්දියාවේ බලවත් චෝල රාජ ආණ්ඩුවෙහි අණසකට අඩ වශයෙන් යටත්ව පැවතිණි. Iවන විජයබාහු රජ (1055–1100) රජතුමා රාජ්‍යත්වයට පත්වන තුරු මෙම ප්‍රදේශයන් චෝල පාලනය යටතේ පැවතිණි. තම රාජ්‍යත්වයෙහි ඇරඹුමත් සමගම, පළමුවන විජයබාහු විසින් සාර්ථක ලෙස චෝල ආක්‍රමණිකයන් පලවා හැර, රජ රට අගනගරය, අනුරාධපුරයෙහි සිට, නව සැලසුම් කල නුවරක් වූ, පොළොන්නරුව (පුලත්තිනගර) වෙත ගෙන එන ලදි. පළමුවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමය (1111–1132) වන විට, දිවයින, රාජධානි තුනකට —රජ රට, දක්කිණ දේශ, සහ රුහුණ —වෙන් කොට තිබුණි. එනමුදු, වික්‍රමබාහු ඉමහත් ගරුත්වයෙන් සැලකුණේ, ඓතිහාසික හා ආගමික වැදගත් කමින් හෙබි අඩවි පිරි රජ රට අයත්ව සිටි බැවිනි. එනමුදු, දක්කිණදේශයේ ("දකුණු රට") රජවූ මානාභරණ හා, ඔහුගේ සොහොයුරන්වූ හා රුහුණෙහි සම-රජුන් වූ, ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, කිරුළ සඳහා ඇස යොමා සිටි පිළිමළුන් වූහ.[5] තවදුරට සැලකූ කල, මෙම තිදෙන ම, විජයබාහුගේ සොහොයුරියගේ පැවතෙන්නන් වූ අතර, එම නිසාම සිහසුනට ප්‍රබල හිමිකමක් දැරූහ; චූල වංශයෙහි ඔවුන් හඳුන්වනුයේ රාජ වංශයෙහි ආර්ය ශාඛාව ලෙස වන අතර, පළමුවන වික්‍රමබාහු කාලිංග ශාඛාවට අයත් විය.

උපත

පළමුවන විජයබාහුගේ කැරැල්ල ඇරඹෙත්ම චෝල අධිරාජ්‍යයෙහි ප්‍රමාණය
පුරාතන වංශකතාවක් වන චූල වංශයෙහි එන පරිදි, පරාක්‍රමබාහුගේ උපත පිලිබඳව, එතුමාගේ පියාණන් වූ දක්කිණ දේශයෙහි මාණාභරණ රජු විසින් දුටු සිහිනයක පෙනී සිටි දෙවියෙකු වැනි රුවක් විසින් පෙරනිමිති පල කෙරිණි.[6] මානාභරණගේ බිරිය රත්නාවලීට එපරිද්දෙන්ම පුතකු උපන් අතර, ඔහු පරාක්‍රමබාහු ලෙසින් නම් ලැබුවේ, ඔහුගේ "රුපුන්-මඩින බාහු" [7] නිසාවෙනි. ඔහු උපන් වසර නිශ්චය වශයෙන් සහතික කර නොදැනුතත්, සාමාන්‍යයෙන් එය 1123 පමණ විය යැයි විශ්වාසය කෙරේ.[තහවුරු කරන්න] ස්ථානය කලක් දක්කිණද්ශයෙහි අග නගරය වූ දැදිගම (පුන්ඛගම) යයි විශ්වාස කෙරේ.[8] මෙම ස්තානය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය කොටවෙහෙර නම් වේ.
දරුවාගේ උපත පිලිබඳ දැනුවත් වූ පොළොන්නරුවෙහි පළමුවන වික්‍රමබාහු අණකලේ, පිරිමි දරුවා ඔහුගේ සිහසුනට උරුමකරු ලෙස ඇති දැඩි විය යුතු බවයි. තම මරණය තෙක් සිහසුන දරා, ඉක්බිතිව පරාක්‍රමබාහු වෙතට එය පැවරීමට අදහස් කල වික්‍රමබාහු විසින්, මෙවැනි දාරක ග්‍රහණයක් යෝජනා කලේ, සමාදානයේ ලකුණ ක් ලෙසින් විය යුතුයි. කෙසේවෙතත් මානාභරණ විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේ, "මෙවැනි පුත් රුවනක් පිටත් කොට යැවුම ... (ඥානාන්විත) සුදුස්සක් නොවේ" යැයි පවසමිනි. ඔහු තවදුරටත් අනුමාන කලේ "...පිරිමි දරුවා එහි රැගෙන ගියහොත්, වික්‍රමබාහුගේ පාර්ශවය... බලයෙන් දිදුලනු ඇත, රෑස් විහිදුවනු ඇත, එනමුදු අපගේ අභාග්‍යය, දැනටමත් ඉමහත්, තවදුරටත් උග්‍ර වනු ඇත!"[9] ශ්‍රී ලංකාවෙහි රාජකීය වංශ අතර පැවැති භේදය කෙතරම් උග්‍රවීදයත් මෙවැනි කරුණකදී පවා එකඟතාවයකට එළඹීමට නොහැකි විය.
දරුවාගේ උපත සිදුවී ඉතා කෙටි කලකින්, මානාභරණ රෝගාතූරවී මිය ගියේය. රුහුණෙහි සම-රජූ වූ, ඔහුගේ බාල සෙහොයුරු කිත්ති ශ්‍රී මේඝ, දක්කිණදේශයෙහි සිංහාසනාරූඪ වූ අතර, රුහුණෙහි එකම රජු ලෙසින් ශ්‍රී වල්ලභ ප්‍රකාශයට පත්කෙරිණි. පරාක්‍රමබාහු, ඔහුගේ මව රත්නාවලී හා ඔහුගේ සොහොයුරියන් දෙදෙන මිත්තා සහ ප්‍රභාවතී, රුහුණෙහි අග නගරය වූ මහානාගහුල වෙත යවන ලදුව, ශ්‍රී වල්ලභ ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවීමට සලස්වන ලදි.[10]

තුරුණු විය

රුහුණෙහි හා දක්ඛිණදේශයෙහි

පරාක්‍රමබාහුගේ ඇතිදැඩි කිරීම වෙත ශ්‍රී ලංකාවෙහි දේශපාලනය විසින් නිතැතින් ම සිදුකළ බලපෑම සැලකිය යුතු තරම් එකක් විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදීම, ඔහුගේ වැඩිමහළු සොහොයුරියවූ මිත්තා; රුහුණේ ශ්‍රී වල්ලභගේ පුතු හා ඔවුන්ගේ ඥාති සෙහොයුරු වූ මානාභරණ වෙත බලහත්කාරයෙන් සරණපාවා දෙන ලද්දේ රත්නාවලී රැජිණගේ අභිප්‍රායට එරෙහිවය.[11] රජ පවුලෙහි කාලිංග වශයෙහි කුමාරිකාවක් වූ රත්නාවලී, ඇය රජ පවුලෙහි ආර්ය ශාඛාවෙහි රජ කෙනෙකුගේ වැන්දඹුවක් වුවද, වඩාත් කැමැත්තක් දැක්වූයේ ඇයගේ දූ වරුන් කාලිංග වංශයෙහි රජෙකුට සරණ පාවා දීමටය. ශ්‍රී වල්ලභගේ රජ මාලිගාවෙහි කල් ගත කල සමයෙහිදී, තම අනාගත මහේශිකාව (රජ මෙහෙසිය) බවට පත් වූ, ශ්‍රී වල්ලභ ගේ දියණිය, ලීලාවතී හමුවීමට පරාක්‍රමබාහුට අවස්ථාව ලැබුණු අතර,[12] පරාක්‍රමබාහුගේ මරණයෙන් පසුව ඇයගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට වරම ඇය වෙත ලැබිණි.[13]

1132 දී, වික්‍රමබාහුගේ මරණයෙන් අනතුරුව, දෙවන ගජබාහු රජරට සිංහාසනාරූඨ විය. නව රජුගේ මානවක බවින් උපරිම ප්‍රයෝජනය ගැනුමට රිසි වූ රජ පවුලේ ආර්ය ශාඛාවෙහි රාජකීයයන් දෙදෙනා වන ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, රජ රට බලෙන් අල්ලා ගැනුමට අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ.[14] ගජබාහු පාලකයා ලෙසින් ස්ථීර ලෙසින් ස්ථාවරත්වයකට එළැඹි අතර ඒ අනුව ආර්ය රජුන් දෙදෙනාට වඩා නාමික ලෙසින් ජ්‍යෙෂ්ඨයා බවට පත් වූ අතර [14] ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී රජ රට රජු හට සිංහාසනය අහිමි වනවා දැකීමට වරම් නොලැබූහ.
ආර්ය-කාලිංග යුද්ධයෙන් අනතුරුව, රුහුණේ ශ්‍රී වල්ලභගේ මාලිගයෙන් නික්මුණු පරාක්‍රමබාහු, දක්කිණදේශයෙහි නව අගනුවර බවට පත්ව තිබූ සංඛතාලි වෙත නැවත පැමිණ, ඔහුගේ මාමා සමග විසීම ඇරඹීය.[15] චූල වංශය පවසන පරිදී මෙම නික්මයාමට හේතු යුක්ත වූයේ ඔහු තුලවූ අසහනය හා රුහුණෙහි උත්ත්ජජනක දෑ නොතිබීමය.[16] රජ රට සිංහාසනයට රුහුණෙහි මානාභරණ නැංවීමට ශ්‍රී වල්ලභ වෙත තිබූ සැලසුම් හේතුවෙන්, රාජසභාවෙහි පරාක්‍රමබාහුගේ තරාතිරම ඇඩි ලෙස අවප්‍රමාණ වීම මෙයට පාදක වන්නට ඇත.[16] අනෙක් අතට, ඔහුගේම පුතුන් නොමැති වූ කිත්ති ශ්‍රී මේඝ විසින් දක්කිණදේශයෙහිදී ඔහු සාදරයෙන් පිළිගන්නාලදුව පුත් තනතුරෙහි අනිවාර්යයෙන්ම හදා වඩා ගැණිනි; මෙයින් පසුව චූල වංශය විසින් පරක්‍රමබාහුගේ පියා ලෙසින් කිත්ති දක්වයි. දක්කිණදේශයෙහි ගතකල මේ කාලය තුලදී, හේ, කෞටිල්‍යගේ වැදගත් කෘතීන් හා ව්‍යාකරණ ශාස්ත්‍රය, සාහිත්‍යය, ඇතුන්-පිට-යෑම, සටන් කලාවන්, ගැයුම් හා නැටුම් ආදී විෂයයන් අධ්‍යයනය කලේය.[17]

රජරටෙහි

වැඩිහිටි වියට පත්ව ටික කලකින්, තරුණ කුමරා රහසේ දක්‍ඛිණදේශයෙන් පිටත්ව රජ රට දෙවන ගජබාහුගේ අඩවිය කරා පිටත්ව ගියේය. බඩලත්ත (වත්මන් බතලගොඩ) හිදී තම මිත්‍ර-පාක්ෂිකයන් හමුව, රජ රට හා දක්‍ඛිණදේශයෙහි මායිමෙහිදී හේ සේනාපති(අණ දෙන නිලධාරි) සංක බැහැදුටුවේය. කුමරුගේ ගමන පිළිබඳව කිත්ති ශ්‍රී මේඝ වෙත දැනුම් දීමට සංක උත්සාහ දැරූ විට, ඔහු මරා දැමීමට පරාක්‍රමබාහු කටයුතු යෙදවීය.[18] තමාගේ රැකවලාව සිටි සංක පිළිබඳ කිත්ති ශ්‍රී මේඝ හැඳින්වූයේ 'මාගේ රාජධානියෙහි බලවත්ම නිලකාරයා' ලෙසට වූ අතර, මේ නිසා ඝාතනය ඉතාමත් බරපතළ ලෙසින් සැලකිල්ලට ගැනිණි.[19] ඉන්පසුව පරාක්‍රමබාහු විසින් බුද්ධගම (වත්මන් මැණික්දෙන නුවර) හා සංකගේ සියළු වස්තුව අත්පත්කොට ගත්තේය.[8] පොළොන්නරු මාලිගය සමග සංකුලතාවයක් ඇති කර ගනී යැයි බියවූ කිත්ති ශ්‍රී මේඝ විසින් තමාට විරුද්ධව එවන ලද බල සේනාවක් ද පැරදවූ හේ, මලය ප්‍රදේශය හරහා ගජබාහුගේ මාලිගය වෙත ගමන් කලේය.[8]
පරාක්‍රමබාහු තරමට දාගැබ් ඉදි කෙරවූ ශ්‍රී ලාංකික රජවරුන් සිටියේ අල්ප ප්‍රමාණයකි.
පරාක්‍රමබාහුගේ හැසිරීම ට හේතූන් අපැහැදිලි නමුත්, චූල වංශය පවසන පරිදී, ඔහුගේ ගමන අනිවාර්යයෙන්ම පෙරික්සුම් සඳහා සිදුවූවකි.[20] පළාත් තුනෙහි රාජකීයයන් තුන් දෙන එක්සත්ව සිටියද, ඔවුන් සියළු දෙකගේ සිත් තුල නලියමින් තුබූ ආශාව වූයේ රජ රට රාජධානිය පාලනය කිරීමයි. කෙසේවුවත්, මේ කාලය වන විට, ඔවුන්ගේ කුඩා පළාත්වල තිබූ සීමාසහිත සම්පත් ප්‍රමාණය හේතුවෙන්, මෙයින් අතුරින් කිසිවෙකු හෝ රජ රට පාලනය සිදුකිරීමට අසමත්වූ බවක් ඇඟවිනි.[20] මෙය විශ්වාස කිරීමට පරාක්‍රමබාහු අකමැති වූ අතර, එම නිසාම රජ රජ සංචාරය කොට එම පළාතේ තිබූ තත්ත්වය තමන් විසින් අධ්‍යයනය කිරීමට රිසි විය.[20]
කුමරු නැවතත් දක්‍ඛිණදේශය වෙත ගෙන ඒමට කිත්ති ශ්‍රී මේඝ දැරූ තැත පැහැදිලි කෙරුණේ තම බෑණනුවන් ගේ සුභසිද්ධිය පිළිබඳ ඔහු තුල වූ සාංකාව හා එලෙසම පරාක්‍රමබාහු විසින් ආර්ය හා කාලිංග දෙපාර්ශවය අතර විරුද්ධතා නැවත අවුළුවායිය යන සැකය හැර වෙන කිසිවක් නොවන ලෙසිනි. කෙසේවෙතත්, දක්‍ඛිණදේශයේ රජු හා ඔහුගේ බෑණා අතර "සෙනෙහෙවන්ත බැඳීමක් " තිබූ බව යන්න නම් "ප්‍රබන්ධයක්" ලෙසින් පිළිගැනෙන අතර, ගෙන හැර දැක්වෙන්නේ "මෙම අරගලයෙහි සිදුවීම් මාලාව එළිදැක්වුනු විලාශය හා, මාමා හා බෑණා අතර ප්‍රශ්න-විරහිත සබැඳියාවක් තිබූ බව පැවසෙන අදහස, පරස්පරවිරෝධි බවය."[21]
ගජබාහු‍ගේ රාජ සභාවෙහි ගතකල කාලය තුලදී, පරාක්‍රමබාහු විසින් වැදගත් කර්තව්‍යයන් දෙකක් කරන ලදි. මෙයින් පළමුවැන්න වූයේ, ගජබාහුගේ රාජසභාව සම්පූර්ණයෙන් ආවරණය වන පරිදී චරපුරුෂ ජාලයක් ඇති කිරීම වන අතර දෙවැන්න වූයේ තම සෙහොයුරියන් අතුරින් එක් අයෙකු වූ භද්දාවතී කුමරිය ගජබාහු රජ වෙත සරණ පාවා දීමයි. මෙම විවාහය හා බොහෝ අනෙකුත් ක්‍රියාවන් ඔස්සේ,
පාලකයා (Iවන ගජබාහු) විසින් හා රජ පවුල විසින් ඔහු වෙත පැවරුනු කාර්යයන් සතුටුදායක ලෙසින් සම්පූර්ණ කිරීමට පරාක්‍රමබාහු සමත්විය.[22] කෙසේවෙතත්, භද්දාවතීගේ මුළු දෑවැද්ද තම භාරයෙහි තබා ගැනුමට ඔහු ක්‍රියාකල අතර, ගජබාහුගේ සේනාධිපති ගෝකණ්ණ හා සමග රහස් ගිවිසුමකට එළඹීමට හේ ක්‍රියා කලේය. අවසානයෙහිදී පරක්‍රමබාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ගජබාහු තුල සැක පහල වූ අතර, රාත්‍රියෙහි හොර රහසේ රජ රට හැර දමා දක්‍ඛිණදේශය වෙත ගමන් ඇරඹීමට පරක්‍රමබාහු ක්‍රියා කලේය.[23]

දක්ඛිණදේශය වෙත ප්‍රත්‍යාගමනය

එසේ කරන ලෙසින් තම මව රත්නාවලී ගේ බලවත් පෙරැත්තය නොවන්නට, දක්කිණදේශයෙහි අග නුවර වූ සංඛතාලි යට ඇතුළු වී, තම මාමා වූ කිත්ති ශ්‍රී මේඝ රජු බැහැ දැකුමට පරක්‍රමබාහු අකමැති විය. කෙසේ වුවද, පරක්‍රමබාහුගේ පෙරළා පැමිණීමට කෙටි කලකින් පසුව මරණයට පත්වූ අතර චූල වංශය ගෙනහැර දක්වන්නේ, කුමරු "තම පියාගේ මරණය නිසා ජනිත විය යුතු වූ ශෝකයෙන් විපරිත වූ බවක් නොපෙණිනි" යනුවෙනි—මෙය සමහරවිට දෙදෙනා අතර වූ නොහොඳ නෝක්කඩුව ගෙන හැර පාන්නක් විය හැක.[24] පරාක්‍රමබාහු දැන් දක්කිණදේශයෙහි රජු බවට පත් විය.

දක්කිණ දේශයෙහි රජු

රාජ්‍ය තන්ත්‍රය

පරාක්‍රමබාහුගේ රාජ සභා මණ්ඩපය
දක්ඛිණදේශය විෂයයෙහි, පරාක්‍රමබාහුගේ අභිප්‍රාය වූයේ, ඉතා කෙටි කලකින්, අනෙකුත් සියළු රාජධානි අභිබවා යන පරිදී, එය පුළුල් කිරීමයි.[25] ගොඩනැගීමේ හා පිළිසකර කිරීමේ යෝධ ව්‍යාපාරයක් එතුමා විසින් දියත් කල අතර, එහි අවශිෂ්ට වර්තමානයෙහිදීත්, මධ්‍යම ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබේ. වර්තමාන කුරුණෑගල අසබඩ, දැදුරු ඔය මත්තෙන්, කොටබද්ද නම්වූ පුරාතන පැන්නුම් පාලමක්, ප්‍රතිෂ්ඨාපනය කල පුවතක් ඔහු පිළිබඳව තුඩ තුඩ කියැවේ.[26] නව රජුගේ පෞරුෂත්වය නිරූපනය වූයේ, ව්‍යාපෘතිය කිසිසේත් කල නොහැක්කක් බවට එය නිම කිරීමේ කටයුත්ත පවරාතිබූ වාස්තුවිද්‍යාඥයින් පැමිණ ඔහුට වාර්තා කල විට, පරාක්‍රමබාහු ලබා දී තිබූ, "ජන බලය යොදවා නිම කල නොහැකි කිසියම් ව්‍යාපෘතියක් මෙලොව කොහි තිබේද?" යන පිලිතුරෙනි.[27] ඇළ හා බැමි ඉදි කල යුතු බවට නියෝග කල හේ, ඒ අවට විසල් කැලෑ ප්‍රදේශයන් එළි පෙහෙළි කොට, නව කුඹුරු සඳහා ඉඩකඩ සැලසීය. විශාල කුඹුරු යායක් විසින් ජලය ලබා ගැනුම සඳහා භාවිත කල යෝධ ජලාශයක් වූ, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගීම, ඔහු විසින් සිදුකෙරුණු කැපී පෙනෙන කර්තව්‍යයකි. ජලාශයෙහි මධ්‍යයෙහි වූ දිවයින් මත, හේ මාලිගයක් හා දාගැබක් ගොඩනැංවීය.[28] රාජ සභාවෙහි පිළිවෙල වෙනස් කළ ඔහු, එය සංස්කෘතික ක්‍රියාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කොට, ඇතුන් හෝ අසුන් පිට යෑම, කඩු හරඹය, විදේශීය භාෂා භාවිතය හා නැටුම් හා ගැයුම් හි දක්ෂ තරුණ කුලීනයන් එය වෙතට ආකර්ෂණය කර ගති. දක්කිණදේශයෙහි රජය ප්‍රතිසංස්කරණය කළ ඔහු හමුදා කටයුතු හා අභ්‍යන්තර පරිපාලනය පිහිටවූ අමාත්‍යාංශ දෙකට පසුව තුන්වැනි දෙපාර්තමේන්තුවක්ද එක් කළේ ආකර පරිපාලනය අධීක්ෂණය කෙරුමටය. චීන සේද සැලකිය යුතු ලෙසින් සුවිශේෂි ආනයන භාණ්ඩයක් වූ අතර පිළිම හා සිද්ධස්ථාන සංස්කාරය සඳහා භාවිතා කෙරිණි.[29] මුතු හා මැණික් (මෙය වෙත රජු විශේෂ උනන්දුවක් දැක්වීය) දිවයිනෙහි අපනයන අතර වැදගත් ස්ථානයක් ඉසිලු අතර, කුරුඳු (මෙය 19වන සියවස වන තෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය විය), සහ යුද්ධ ඇතුන් ද එසේම වැදගත් වූහ.[30] වෙළෙඳාමෙන් බොහෝ කොටසක් රාජ්‍යයේ ප්‍රධාන නැව් තොටු වූ කල්පිටිය, හලාවත සහ කොළඹ වෙතින් සිදුවිය.[31]
පරාක්‍රමබාහුගේ රාජ්‍යත්වය තුලදී අලංකෘත කෙරුණු, පොළොන්නරුව රජ මාලිගයේ නටබුන්

යුඬයට සැරැසීම

පරාක්‍රබාහුගේ හමුදාව ප්‍රකීර්ණක ජනවාර්ගික සැදුමක් සහිත විය. ඔහුගේ සමහරක් නිලධරයන්, අනුරාධපුරයේ සිට පාලන තන්ත්‍රය මෙහෙයවමින් රජරට බලය සමසේ බෙදා ගත් මහා පුරාණ ගෝත්‍රයන් දෙක වන මෞර්ය සහ ලම්භකර්ණ යන්නට අයත් වූහ. මලය රට (නූතන දුම්බර) රජු යැයි කියා ගත් අයෙකු යටතේ හා කුරුණෑගල අවටින් වූ දෙමළ ජාතික සොල්දාදුවන් සමූහයක්ද ඔහු වටා රොක්වූහ. දක්කිණදේශය සහ රජරට අතර සටන් ඇවිලුනු කාලය වන විට මෙම පෙර කී පුද්ගලයාගේ සේනාවට වැද්දන්ද,[32] චේරාවරුන්ද, සාම්ප්‍රදායිකව රණ කෙලියෙහි නොයෙදෙන පහත් කුලයන්ට අයත් වූවන්ද එක්ව සිටියහ. චූලවංශය පවසන පරිදී සොල්දාදුවන් සංඛ්‍යාව 100,000 පමණ වුවත්, සත්‍ය ප්‍රමාණය ඊට අඩු විය හැක.[33] සටන් ඇතුන්, අශ්වාරෝහකයන් සහ වැටලීම් යන්ත්‍ර උපයෝගී කර ගැනුමට පරාක්‍රමබාහුට හැකි වන්නට ඇති අතර උතුරේ ගජබාහුගේ බලයට මොහුගේ සේනාව තර්ජනාත්මක වන්නට ඇත.

රජ රට යටත් කර ගැනුම

ගජබාහු සමග යුද්ධය

මානාභරණ සහ ගජබාහු සමග යුද්ධය

පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සාමය ඇති කිරීම සඳහා ඔහුගේ සෙන්පති දේව යැවූ නමුත්, ඔහුගේ හමුදාව ප්‍රතිසංවිධානය කර ගැනීමට පළමුව ඔහුට මානාභරණ සමග සටනක පැටලීමට සිදු විය. රුහුණේ රජු පොරොන්දු වූ ආකාරයටම පරාක්‍රමබාහුගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ල කර පොළොන්නරුවෙන් පලා යාමට සැළැස්වීය. කාලිංග වංශිකයිනට මානාභරණ සමග තිබූ එකඟතාවය ඔවුනටම පාරාවළල්ලක් විය. මන්ද කියතොත් නගරය ඔහුගේ භාරයේම තබා ගැනීමට මානාභරණ අදහස් කරගෙන තිබුණු බව ඉක්මණටම පැහැදිලි වූ හෙයිනි. ඔහු ගජබාහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකු මරණයට පත්කොට ගජබාහු පොළව යට තැනූ සිරගෙයක සිර කළේය. මේ අතර මානාභරණගේ (විජයබාහුගේ ලේලිය) මව වූ සුගලා දේවියට සහ බිරින්දෑවරුනට දකුණේ සිට රජරටට පැමිණෙන ලෙස දන්වා යවන ලදී. දකුණේ බොහෝ කාලයක් තිබුණු දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ඔහුගේ ආරක්ෂාව යටතේ රජරටට ගෙන එන ලදී.
මෙම අවස්ථාවේදී ගජබාහු, පරාක්‍රමබාහුගෙන් උදව් ඉල්ලා ආයාචනය කළේය. පරාක්‍රමබාහු ‍පොළොන්නරුවට ධාන්‍ය ලැබෙන මාර්ග වසා දමන ලෙස සහ රුහුණ සහ රජරට අතර මාර්ගයේ යන සංචාරකයින්ට හිරිහැර කරන ලෙස තම හමුදාවට දන්වා සිටියේය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් පොළොන්නරුවේ මානාභරණ සමග සිටි ජනතාව "කූඩුවක දැමූ කුරුල්ලන් සේ" දුර්වල වූහ. උතුරේ ඔහුගේ බලය මැඩ පැවැත්වීමේ අරමුණෙන් දක්ඛිණදේශ හමුදාවන්ගෙන් විටින්විට එල්ල වන ප්‍රහාරයන් අතරේ මානාභරණ රක්ඛ සෙනෙවියාට පහර දීමට පොළොන්නරුවෙන් පිටත් විය. රක්ඛ සෙනෙවියා ඒ වන විට බටහිර රජරට මහත් විනාශයක් කරමින් සිටියේය. ඔහු නැති අතර වාරයේ පරාක්‍රමබාහුගේ හමුදාව පොළොන්නරුව අල්ලා ගෙන දෙවැනි ගජබාහු මුදා ගත්තේය. ඒ සමගම මානාභරණගේ භාණ්ඩාගාරය ද තමනට අයිතිකර ගත්තේය. අධෛර්යයට පත් වූ රුහුණේ රජු බුදුන්ගේ ධාතු ද තම පවුලේ අයද සමග දකුණ බලා ආපසු පැමිණියේය.
නිදහස් කරනු ලැබූ ගජබාහු පරාක්‍රමබාහු පැමිණීමට පෙර පොළොන්නරුව අතහැර නැව් නැග රටින් පිට වී යාමට තීරණය කළේය. එහෙත් ගජබාහුගේ අනුගාමිකයින් පිරිසක් පරාක්‍රමබාහුගේ හමුදාවට පහර දීම නිසා දෙපාර්ශවය අතර නැවතත් සටනක් ඇවිලුණේය. පරාක්‍රමබාහු ඔහුගේ හමුදාව ගජබාහු අල්ලා ගැනීම සඳහා පිටත් කළේය. තමා ඉතා ඉක්මණින් අල්ලා ගන්නා බව අවබෝධ වුණු ගජබාහු, මැදිහත් වන ලෙස ඉල්ලා සංඝට ආයාචනා කළේය. රෝගීව සිටින රජුගෙන් ඉදිරියට තර්ජනයක් ඇති නොවන බවත් ඔහුට ඉදිරි කාලය සැනසිල්ලේ ඉන්නට හරින ලෙසත් යනාදී කරුණු පරාක්‍රමබාහුට ඒත්තු ගන්වන ලදී. පරාක්‍රමබාහුට එරෙහිව නැවත යුද්ධ කිරීමට ගජබාහු එකඟ කරවා ගැනීමට මානාභරණ තැත් කළ නමුත් ගජබාහු එම අදහස ප්‍රතික්ෂේප කළේය. "මම රජරට පරාක්‍රමබාහුට පවරා දුනිමි" යනුවෙන් ඔහු ගල් පුවරුවක ඒ බව සටහන් කර ඔහුගේ නිලය පරාක්‍රමබාහු උදෙසා අත්හළ බව තහවුරු කළේය. ගජබාහු කන්තලේට ගියේය. රජරට රජු ලෙස ඔහුගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදු වී 22 වෙනි අවුරුද්දේ ඔහු කන්තලේදී මිය ගියේය.

රාජාභිෂේකය සහ මානාභරණ පැරැදවීම

පරාක්‍රමබාහු සිංහාසනාරූඪ වීම දක්වා කාලානුරූප සිදුවීම් මාලාව
රාජධානිය රාජකීයයා
1090 1100 1110 1120 1130 1140 1150 1160 1170 1180
රජරට
පළමුවන වික්‍රමබාහු දෙවන ගජබාහු
දක්කිණදේශ (මායාරට) පළමුවන විජයබාහු මානාභරණ කිත්ති ශ්‍රී මේඝ පළමුවන පරාක්‍රමබාහු
රුහුණ
ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ ශ්‍රී වල්ලභ මානාභරණ

රාජ්‍ය පාලනය

1153 හි සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්තිනගර) තුල ස්ථාවර වූ පරාක්‍රමබාහු, ඊළඟ වසර 33 තුලදී ශ්‍රී ලංකාව සාකල්‍ය ලෙසින් පාලනය කලේය. ඔහු පිළිබඳ අප මතකයන්හි ගැඹුරින් රැඳි බොහෝ කර්තව්‍යයන් සිදු කෙරුණේ මෙම කාලය තුලදී වන අතර, මේ අතර වැදගත් තැනක් ගත්තේ ආගමික ප්‍රතිසංස්කරණ, ඉදිකිරීම්, හා යුද්ධ වේ.

ආගමික ප්‍රතිසංස්කරණ

වට්ටගාමිණි අභය රජතුමාගේ කාලයේ (ක්‍රි.පූ 104-88-76) ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකිනෙකාට විරුද්ධ නිකායන් 3 කට බෙදී සිටියහ. ඒ මහාවිහාරික ථෙරවාදී, අභයගිරි පාර්ශවය සහ දක්ඛිණ විහාර පාර්ශවය වශයෙනි. පරාක්‍රමබාහු රජතුමාගේ එකම අරමුණ වූයේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ පැවතියාක් මෙන් මෙම නිකායන් තුනම ඒකාබද්ධ කිරීමයි. ඒ වන විට භික්ෂු සමාජය බොහෝ සෙයින් දූෂිත වී තිබුණේය. ඇතැම් භික්ෂූහු විවාහ වී දරුවන්ද ලැබ සිටියහ. බොහෝ ක්‍රියාකාරකම්වලදී ලෞකික සැප සම්පත් සොයමින් ඔවුන් කටයුතු කළේ ගිහියන් මෙනි.
1165 දී පමණ භික්ෂු සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොළොන්නරුවේදී සමුළුවක් කැඳවන ලදී. මෙයට පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පලපුරුදු මහාතෙර කාශ්‍යප හිමියන් සහභාගී වූහ. ඒ හිමියෝ අති දක්ෂ වූද ත්‍රිපිටකය ගැනද විශේෂයෙන් විනය පිටකය පිළිබඳව ද මනා දැනීමක් ඇතිව සිටියහ. පරාක්‍රම රජුගේ මෙම උත්සාහයට බාධාවන් එල්ල වූයේ අභයගිරි පාර්ශවයෙනි. අභයගිරි පාර්ශවය ඒ වන විට වෛතුල්‍යවාදය නම් ධර්ම විරෝධී ව්‍යාපාරයක් කෙරේ බැඳී සිටියහ. පරාක්‍රමබාහු එම පාර්ශවය වඩාත් දූෂිතව සිටි බැව් තේරුම් ගෙන සිටියේය. මෙම සමුළුවට සහභාගී වනවාට වඩා වෙනත් රටකට යාම මැනවැයි කල්පනා කළ ඇතැම් භික්ෂූහු එසේ කළහ. ඇතැමෙක් සිවුරු හැර ගිහි බවට පත් වූහ. මෙසේ කිරීමට පරාක්‍රමබාහු රජු ඔවුන් උනන්දු කරන්නට ඇතැයි සිතිය හැක. දූෂිතයන්ට තහනම් නියෝග පැනවීම හෝ ශාසනයෙන් නෙරපීමද සැබෑ ධර්මානුකූලව ගත කරන්නන්ට තෑගි දීමෙන් හා ධෛර්ය දීමෙන්ද යනාදී කරුණු මත ශාසනය පිරිසිදු කිරීම රඳා පවතින්නේ යයි ඔහු සිතු බව පෙනේ. අවසානයේ නිකායන්වල නායක හිමිවරුන් වර්ෂයකට වරක් කැඳවා මහවැලි නදී ඉවුරේ මධ්‍යස්ථානයක හිඳුවා ප්‍රගතිය සහ ප්‍රමිතිය විමසා බැලුවේ ප්‍රායෝගික තත්වය පරීක්ෂා කිරීම පිණිසයි.
1157 දී සුගලා දේවිය පරාජය කිරීමෙන් පසු පරාක්‍රමබාහුට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමි විය. ඔහු දන්ත ධාතුව මැණිකක් තුළ ඔබ්බවා පොළොන්නරුවේ දළදා මන්දිරයේ වැඩ හිඳුවේය. මෙවැනි ගොඩනැගිලි පරාක්‍රමබාහු යුගයේ අගනා සිහිවටන විය. ඔහු සංඝයා වහන්සේ උදෙසා කළ ගොඩනැගිලි ගැන බොහෝ විස්තර ද ගල් විහාරය වැනි තැන්වල ඔහුගේ අභිප්‍රායයන් සහ වෙනත් සිද්ධීන් පිළිබඳ තොරතුරු ද බොහෝ විට අඩංගු කරමින් චූලවංශය විස්තර දක්වා ඇත.

ඉදිකිරීම්

මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රමබාහුගේ ඉදිකිරීම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් ස්මාරකයන්ය. පොළොන්නරුවේ මෙන්ම බටහිර සහ ගිනිකොණ දිග ලංකාවේද ඔහුගේ ඉදිකිරීම්වල ඉතිරි වු කොටස් අද දක්වාම පවතී. පරාක්‍රමබාහුගේ ප්‍රධාන කාර්යයක් වුයේ පුරාණ රජවරුන්ගේ අගනගරය වී පැවති, චෝල ආක්‍රමණිකයන්ගෙන් විනාශයට පත් වූද අනුරාධපුරය සහ ඒ වන විට කැලෑවට යටවී තිබුණු ථුපාරාමය මිහින්තලේ සහ රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඉන්පසු පරාක්‍රම පුර නම් පාලන මධ්‍යස්ථානයක් පිහිට වු ඔහු අනතුරුව පොළොන්නරුව දෙසට අවධානය යොමු කළේය. හදිසියේම ආක්‍රමණික පිරිස් විසින් අවුරුද්දකට ආසන්න කාලයක් නගරය වැටලීම හේතුවෙන් නගරවාසින්ට බොහෝ පිඩා ඇතිවුණු අතර නගරයේ පැවැත්ම නමට පමණක් සිමාවිය. 12 වැනි සියවසට පෙර පොළොන්නරුවෙන් සුළු නටබුන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව තිබීමේ හේතුව සමහර විට එය විය හැකියි.
රජු ආරම්භයේදීම නගරය දිස්ත්‍රික් හතරකට නැතහොත් උපනගර හතරකට බෙදුවේය. ඒ හැම එකකටම එයට විශේෂ වු (භික්ෂුන් උදෙසා) දාන ශාලාවක් විය. ඒවා තඹ භාජන, කොට්ට, මෙට්ට, පැදුරු, බුමුතුරුණු සහ සයනයන්ගෙන්ද යුක්ත විය. ඔහු ආරෝග්‍ය ශාලා තැනීමටද නියම කළේය. ඒවා බැලීමට කීප වතාවක්ම ගියේය. ඔහු පොළොන්නරුව වටා අලංකාර පවුරු තුනක සංකිර්ණයක් තැනු අතර, අටලු, ආරුක්කුද යොදමින් එය විශාල කළේය. මේවායි නටබුන් අද දක්නට නැත. නගර සීමාවට එපිටින් පරාක්‍රම පුර , රාජවේසි බුජංග, රාජ කුලන්තක (සිංහ පුර) සහ විජිත පුර නමැති සුළු නගර වලට අමතරව තවත් සුළු නගර තුනක් පැනවු බව විශ්වාස කෙරේ. පොකුණු, ස්නානය සදහා ජලාශ වලින්ද යුක්තව පොළොන්නරුව වටා උද්‍යාන නිර්මාණය කළේය. එයින් එකක් වු කුට්ටම් පොකුණ අදද දක්නට ඇත. ‘දූපත් උයන’ නමින් හැදින්වෙන එක් උද්‍යානයක් තෝපා වැව මධ්‍යයේ උස් දූපතක පිහිටියේය.
පොළොන්නරුව අසල ඇති ගල් විහාරය තවමත් සුරැකිව තිබේ. චුල වංශයේ සදහන් වන අන්දමට මෙම විහාරය ඉදිකිරීමේ ගෞරවය පරාක්‍රමබාහු රජුට හිමි වේ. එහෙත් සත්‍ය නම් ඔහු විසින් කරන්නට ඇත්තේ එය අලංකාර ලෙස පිළිසකර කිරීම පමණි. 1157 දී වටදා ගෙය ඉදි කරන ලද්දේ සුගලා රැජින විසින් දියත් කරන ලද රුහුණේ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුවයි. ඊට ආසන්න කාලයේදී සොයාගත් දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව තැන්පත් කිරීම පිණිස මෙම වටදා ගෙය සාදවන ලදී. ලංකා තිලක විහාරය, ආලාහන පිරිවෙන, ජේතවනාරාමය, සහ දෙමළ මහා සෑය ද ගොඩ නංවන ලද්දේ ඔහුගේ පාලන කාලයේ දීය. පොළොන්නරුවේ නගර මධ්‍යයේ පරාක්‍රම බාහු රජමාළිගය ඉදිකළේය. එහි කොටසක් පමණක් අදටත් ඉතිරිව තිබේ. එහි ඉහළට එසවුණු බිත්ති කොටස්වලින් අපට පෙන්වා දෙන්නේ රජුගේ පුළුල් දර්ශනය පිළිබඳව ඉඟියකි.
ගල්විහාරයේ වෙනස් ඉරියව් තුනකින් යුත් බුද්ධ ප්‍රතිමා තුනක් තිබේ. මේවා විශාල තනි ගල් කුලින් නිමවා ඇත.
පරාක්‍රමබාහු රජතුමා විසින් දක්ෂිණ දේශයේ ආරම්භ කරන ලද ජල ව්‍යාපෘතීන් තවදුරටත් කරගෙන ගියේය. මෙයට චෝල පාලන සමයේදී විනාශයට පත් වු ජලාශ සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම්ද ඇතුළත් විය. මෙම කාර්යයන් ගැන විස්තර කෙරෙන සෙල්ලිපි ඌරුවෙල අසල මහවැවේද, වයඹ පළාතේ පදවිය වැව් පතුලේ තිබී 19 වැනි ශතවර්ෂයේදී සොයාගත් ගල් ටැඹකද මෙසේ සටහන් කර ඇත.
“ලෝක වාසි සියලු දෙනා වෙනුවෙන් හෙළ රාජ්‍ය පාලක සමෘද්ධිමත් පරාක්‍රමබාහු රජු විසින් කළ යුතු සුදුසු දේ කුමක්දැයි සිතා සාදවන ලදී.”[34]

පරාක්‍රමබාහු රජතුමා
මෙම ජලාශයන් බොහෝමයක් කරවන ලද්දේ පරාක්‍රමබාහු විසිනැයි චුලවංශයේ සඳහන් කර ඇතත් පරාක්‍රම බාහුගේ කාර්යයන් බොහෝමයක් කර ඇත්තේ ඔහුගේ අනුප්‍රාප්තික නිශ්ශංකමල්ල රජු විසිනැයි අනුමාන කෙරේ. සම්පුර්ණයෙන් ගත් කළ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද හා ප්‍රතිසංස්කරණය කරන ලද වැව් හා ජලාශ සංඛ්‍යාව 216 කි.
ඒවායේ විශිෂ්ටත්වය හැරුණු විට පරාක්‍රම බාහුගේ කාර්යයන් මහජනතාවට සහ භාණ්ඩාගාරයට අධික බරක් විය . අනුරාධපුරයේදී කරන ලද වැඩ බොහෝමයකම පඬු රට සමග කළ යුද්ධයේදී අල්ලාගත් දෙමළ සිරකරුවන් යොදවන ලදී. එසේම බදු සහ රාජකාරී ක්‍රමය ද මෙම ව්‍යාපෘතිවලට විශාල දායකත්වයක් සැපයීය.

හමුදා ක්‍රියාන්විතයන්

කැරැලි

සිහසුන සඳහා පරාක්‍රමබාහු සමග උග්‍ර සටනක යෙදුනු රුහුණේ මානාභරණගේ මව වූ සුගලා දේවිය 1156දී, පරාක්‍රමබාහුට එරෙහි කැරැල්ලක් හා එක් විය. තත්ත්වය දරුණු අතට හැරුණේ, පරාක්‍රමබාහුගේ හමුදාව හා ඔහුගේ වඩාත්ම රූක්ෂ සෙන්පතිවූ රාක්කගේ ප්‍රවාසයෙහි වාසිය අත්පත් කර ගරනුමට රිසි වූ කුලීහේවායින් සමූහයක් විසින් 1157දී කැරලි ගැසුමට ඉඩප්‍රස්තා සලසා ගැනුම හා සමගමය.
උතුරේ කැරැල්ල දිගටම පැවතියදී, රුහුණේ ගැටුම තුල නිමග්නව සිටි රුක්ක හට උපකාර වනු වස් භූත නම් තවද සෙන්පතියෙකු පිටත් කර එවුමට පරාක්‍රමබාහු යුහුසුළු විය. චූලවංශය විස්තර කරනුයේ භූතගේ හමුදාවේ සොල්දාදුවෝ ඊතල වලින් ආරක්ෂා වීම සඳහා "මි හරක් හමින් තැනුනු අංගරකාවන්"[35] පැලඳ සිටි බවයි. ආධාර පිණිස අමතර බලකායක් පැමිණි නමුදු රක්ඛ සහ භූතා ක්ෂය වන යුද්ධයකට ඇලී සිටින බව පෙනී ගියේය. එය පරාක්‍රමබාහු සිහසුන ලබා ගැනීමට කළ යුද්ධය මෙන් නොවීය. ස්ථිර වශයෙන් සිදු වූ දෙයක් නම් සමකාලීන කැරැල්ලක් උතුරේ ඇති වීමයි. තුන් මසක් පැවති ඒ සටන අන්තිමට දික් වැව ආසන්න ස්ථානයකදී කෙරුණු සටනකින් පසු අවසාන විය. රුහුණේ පැවති කැරැල්ලේ මුල් අවධියේදීත් එකම ප්‍රධාන ජයග්‍රහණ වූයේ 1157 දී බුදුන්ගේ ධාතු අත් පත් කර ගැනීමයි.
අවසානයේ තත්වය වෙනස් තත්වයකට පත් වූයේ රුහුණට අමතර භට කණ්ඩායම් පැමිණි විටදීය. ඒ 1158 දී විය හැකිය. එම භට හමුදා පැමිණියේ සබරගමුව හරහා සහ බටහිර වෙරළ පැත්තෙනි. මහගම යටත් කර ගත් අතර සුගලා දේවිය අත්අඩංගුවට ගනු ලැබුවාය. ඉන් පසු පරාක්‍රමබාහුගේ හමුදාව ප්‍රභූවරුන් සහ රුහුණු වැසියන් මරා දැම්මේය. මෙයට පරාක්‍රමබාහුගේ අනුමැතිය ලැබෙන්නට ඇත. "දඬුවම් ලැබිය යුතු සතුරන්ට දැඩි දඬුවම් දෙනු ලැබීය. ගම්වල, වෙළඳපල නගරවල, පුවරු සිටුවා ඒ මත සියගණනක් මිනිසුන් උල තබන ලදහ. තවත් බොහෝ සතුරන් එල්ලා මරන ලදහ" කරුණු මෙසේ වූ නිසා නිරන්තරව පැවතුණු වෛරය හා ද්වේශය හේතුවෙන් රජු වෙහෙසට පත් විය. කැරුල්ල අති දරුණු ලෙස මැඩ පැවැත්වීම නිසා (1160 හට ගත් සුළු කැරුල්ලක් හැරුණු විට) රජුගේ පාලන කාලය මුළුල්ලේම රුහුණ සාමකාමීව පැවතුනේය. සුගලා දේවියගේ ඉරණම කුමක් වී දැයි යන්න වාර්තා නොවේ. පරාක්‍රමබාහුගේ කාලයේ පැනනැගුණු අනිත් එකම කැරැල්ල හටගත්තේ වර්තමාන මාන්තොට ප්‍රදේශයේදීය එය 1168-1164 කාලයේ පැවතුණේය.

බාගන්සමග යුද්ධය, 1164–1165

පාණ්ඩ්‍ය යුද්ධය, 1167–1183

මරණය හා දායාදය

චූලවංශය පවසන්නේ, පරාක්‍රමබාහු රජතුමා " වසර තිස්තුනක් පුරා රාජ්‍යය කලේය", සහ එතුමා පොළොන්නරුවෙහිදී මිය ගි‍ය බව පමණි. එතුමා විසින් කාලිංගයෙහි අගනගරය වූ සිංහපුර වෙතින් මෙරටට ගෙන්වා ගෙන ඇති හා ඔහුගේ “සොහොයුරියගේ පුත්‍රයා” ලෙසින් හැඳින්වුනු විජයබාහු, ඔහුගේ අනුප්‍රාප්තිකයා විය.[36] රුහුණෙහි මානාභරණ හට සරණපාවා දී තිබුණු පරාක්‍රමබාහුගේ සොහොයුරියන් වන ප්‍රභාවතීගේ හෝ මිත්තාගේ හෝ පුත්‍රයා වීමට විජයබාහු හට කිසිසේත් ඉඩක් නොමැත්තේ, එවිට කාලිංගයෙන් ඔහු කැඳවා ගැනුම පැහැදිලි කල නොහැකි වීම නිසාය. ගජබාහු සහ රජුගේ අනෙකුත් නම් කරන ලද සෙහොයුරිය වන භද්දාවතී ගේ ප්‍රත්‍රයා වීමටද ඔහුට ඉඩක් නොමැත්තේ, ඔහුට වඩා ආයුෂ සහිතවූ පුතුන් ගජබාහු හට නොසිටිය බව චූල වංශය විසින් පැහැදිලි ලෙසින් දක්වා ඇති බැවිනි.[37] මේ අනුව උපග්‍රහණය කල යුතුව ඇත්තේ විජයබාහු යනු කාලිංග රජෙකුට සරණ පාවා දී තිබුනු රජුගේ අඥාත සතරවැනි සෙහොයුරියක ගේ පුත්‍රයා බවය.[තහවුරු කරන්න] රජුගේ භූමදාන ස්ථානය නොදනී.අ0ගම් සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන යාම මෙතුමා අතින් සිදුවූ වැදගත් මෙහෙයකි.

රන්කොත් වෙහෙර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
රන්කොත් වෙහෙර
Rankoth Vehera
Rankoth Vehera.jpg
විස්තර
Denomination ථේරවාද බුදුධහම
සංස්ථාපනය c. 1190
පිහිටුවීම
නිර්මාතෘ නිශ්ශංකමල්ල රජ
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම
රන්කොත් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රාජ්‍ය කල නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දකි.[1] අනුරාධපුර මහා විහාර ස්ථූප සම්ප්‍රදායට අනූකූලව රන්කොත් වෙහෙර ඉදිකොට තිබෙන අතර එය අනුරාධපුර රුවන්වැලිසෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි.[2] ස්ථූපය සමීපයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයේ, මෙම ස්ථූපය "රුවන්වැලි" ලෙස හඳුන්වා දී තිබෙන මුත් පසුකාලීනව එය වර්ථමානයේ ව්‍යවහාර වන රන්කොත් වෙහෙර බවට පත්වී තිබේ.[3]

විස්තරය

සම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිමවා ඇති රන්කොත් වෙහෙරේ පාදම අඩි 550ක පමණ විශ්කම්භයකින් හා අඩි 108ක පමණ උසකින් යුක්ත වේ. කෙසේ වූවද ස්ථූපයේ මුල් හැඩය, විශේෂයෙන් ඉහල කොටස, පසුකාලීනව සිදුකරන ලද ප්‍රථිසංස්කරණ හේතුවෙන් වෙනස් වී තිබේ. ස්ථූපයේ මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[3] රන්කොත් වෙහෙර පොළොන්නරුව පිහිටි විශාලතම ස්ථූපය වන අතර, දිවයිනේ සිව්වන විශාලතම ස්ථූපයද වේ.[4] ස්ථූපය වාහල්කඩ හතරකින් සමන්විතය.

නිශ්ශංක ලතා මණ්ඩපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
නිශ්ශංක ලතා මණ්ඩපය
නිශ්ශංක ලතා මණ්ඩපය යනු, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පුරාණ නගරයෙහි ඉදිවී තිබුණු අනන්‍ය ව්‍යුහයකි. නිශ්ශංක මල්ල රජ (1187   1196) විසින් තනවන ලද එතුමා අනුව යමින් නම් කර ඇති මෙය, දළදා මළුවෙහි බටහිර වාහල්කඩෙහි පිහිටා ඇති අතර, මෙම සරියෙහි නගරයේ ඉතාමත් පැරණි හා පූජනීය ස්මාරකයන් පිහිටා ඇත.

මණ්ඩපය

අලංකාර නෙළුම් මල් ඵලක සහිතව කැටයම් කල ටැම් පේලි සහිත මම ශිලාමය නිර්මාණය මෙහි වූ ශිලා ලේඛනයක් අනූව නිශ්ශංක මල්ල රජු පිරිත් ශ්‍රවණය කල ස්ථානය බවට සනාථ කොට තිබේ. ශෙලමය ගරාදි වැටෙන් වටකර තිබෙන වේදිකාව මත වූ ගලින් නිමකල ස්ථූපය මේ හේතුව නිසාවෙන්, පිරිත් සජ්ජායනාවේදී භාවිත වන කරඬුව වශයෙන් යොදාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නිශ්ශංක ලතා මණ්ඩපය එකල පියස්සකින් ආවරණය වී තිබූ බවට සාධක පවතී. මෙහි වූ කැටයම් වලට සමාන ගල් ටැම් සත්මහල් ප්‍රාසාදය අසළ පිහිටි ගොඩනැගිල්ලේද දැකිය හැකිය.

හැටදාගේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
හැටදාගේ සිද්ධස්ථානයට ඇතුළුවීම.
හැටදාගේ යනු, ශ්‍රී ලංකාවේ, පොළොන්නරුව නගරයෙහි පිහිටි, ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ පුරාතන සිද්ධස්ථානයකි. එය තනවා ඇත්තේ නිශ්ශංක මල්ල රජ විසින් වන අතර, දළදා වහන්සේ වඩම්මවා තැබීම සඳහා භාවිතා කර ඇත. හැටදාගේ තනවා ඇත්තේ, ගල්, ගඩොල් සහ ලී භාවිතා කර මුත්, ගඩොල් සහ ගල් බිත්ති වල කොටස් පමණක් දැනට ශේෂ ව ඇත.දෙමහල් ව්‍යුවහයක් බවට පෙනෙන්නට ඇතත්, උඩු මහල දැනට විනාශ වී ඇත. සිද්ධස්ථාන ශාලාව තුල, කළුගලින් නෙළු බුදු පිළිම තුනක් තැන්පත් කර ඇත.

පිහිටුම

ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, පොළොන්නරුව පුරාතන නගරයේ, හැටදාගේ පිහිටා ඇත. නගරයෙහි පැරණිතම සහ මහත් ශුද්ධවූ ස්මාරක පිහිටා ඇති චතුරස්‍රාකාර ප්‍රදේශයක් වන දළදා මළුවෙහි උතුරු දිග කොණට සමීපයෙහි මෙය පිහිටා ඇත. දකුණු දිගට මුහුණ ලා ඇති එහි ඇතුළුවීමේ ද්වාරය, එක එල්ලේ පොළොන්නරුව වටදාගේ ඇතුළුවීමේ දොරටුවට මුහුණ ලා සිටියි. ගල්පොත ශිලා ලේඛනය එය සමීපයෙන් නැගෙනහිර දිශාවට වන්නට පිහිටි අතර, අටදාගේ පිහිටන්නේ එයින් බටහිර දිශාවට වන්නටය. [1]

ඉතිහාසය සහ නාමකරණය

නිශ්ශංක මල්ල රජ (1187–1196) විසින් හැටදාගේ ගොඩනංවන ලද්දේ, දළදා වහන්සේ වැඩම්මවා තැබීම සඳහා සිද්ධස්ථානයක් වශයෙනි. [2] රාජාවලිය, පූජාවලිය සහ ගල්පොත ශිලා ලේඛනය ඇතුළු ඓතිහාසික මූලාශ්‍ර කිහිපයක් සඳහන් කරන්නේ එය තැනුනේ පැය සැටක් හෙවත් දවසක් තුලදී බවයි. දාගේ යන්නෙන් අදහස් වන්නේ ධාතු ගර්භය බැවින්, දින හැටකින් නිම කිරීම සිහි කිරීමට මෙම නම යෙදුවා විය හැක. තවද සිද්ධාන්තයක් වන්නේ, මෙම නම යෙදීමට හේතුව, ධාතුන් වහන්සේලා හැට නමක් වඩම්මවා තිබීම නිසා බවයි. [3] දළදා වහන්සේ බොහෝ විට වඩම්මවා තබන්නට ඇත්තේ උඩු මහලේය.[4]

ව්‍යුහය

සිද්ධස්ථානය තුල පිහිටි බුද්ධ ප්‍රතිමා තුන.
දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පැවැති මෙහි ඉහළ මහළ තුල දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැම්පත් කර තිබූ බව සැළකෙයි. බිත්ති වල යොදා ඇති ගල් පුවරු අතර නිශ්ශංක මල්ල රජුගේ ලිපි තුනක් දැකගත හැකිවේ. මෙහි වහළ දැව පරාල යොදා උළු සෙවිලි කොට තිබී ඇත.