පොළොන්නරුව වටදාගෙය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වටදාගෙයට පිවිසෙන දොරටු සතරින් එකක්
කුඩා ස්තූපයක ආරක්ෂාව සදහා ඉදිකල මෙම නිර්මාණය සංකීර්ණ ශිලා කැටයමින් අලංකාර කරන ලද ශිලා වේදිකා යුගලකින් සමන්විත වේ. උතුරු දිශාවට මුහුණලා ඇති තනි දොරටුවකින් පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැකි අතර සතර දිශාවට මුහුණලා ඇති දොරටු සතරකින් ඉහල වේදිකාවට ප්‍රවේශ විය හැක. කුඩා ස්තූපය සමන්විත ඉහල වේදිකාව ගඩොල් බිත්තියකින් ආවෘත වී ඇත. ස්තූපය වටා ඇති එක් එක් දොරටුව දෙසට මුහුණලා තබා ඇති බුද්ධ ප්‍රතිමා සතරකි. දැවමය පියස්සකට රුකුල් දෙනු පිණිස ඉදිකල බවට අනුමාන වශයෙන් සිතිය හැකි ඒකකේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක්ද මෙහි පිහිටා ඇත. සමස්ථ නිර්මාණයම ශිලා කැටයමින් සැරසී ඇත. සඳකඩපහණ වැනි පොළොන්නරුව වටදාගෙයි ඇති ඇතැම් නිර්මාණ, එවන් වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ බව සැලකේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් මෙහි දැවමය පියස්සක් තිබූ බව යොජනා කලද, ඇතැමුන් මෙම මතය ප්‍රතික්ෂේප කරයි.
ඉතිහාසය
පොළොන්නරුව වටදාගෙය වර්ථමානයේ දිස්වන ආකාරය
පුරාණ බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය අංගයක් වන වටදාගෙවල්, වැදගත් පූජනීය වස්තූන් නිදන් කල හෝ පවිත්‍ර භාවයට පමුණුවනලද භූමියමත ඉදිකරන ලද කුඩා ස්තූපයන්ගේ ආරක්ෂාව සදහා ගොඩනගන ලදී. පොළොන්නරුව වටදාගෙය පලමුවන පරාක්‍රමභාහු රජු විසින් ගොඩනගන ලද සිද්ධස්ථානයක් නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව එහි නිදන්වී තිබීමට ඉඩ ඇත. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව එහි නිදන්වී තිබීම අනෙක් භාව්‍යතාවයි. මෙම ධාතූන් යුගලයම පුරාණ ලාංකීය සංස්කෘතියේ වැදගත් අංගයන් වූ අතර පොළොන්නරුව වටදාගෙය දේශයේ වැදගත්ම සහ ගෞරවණීයම ගොඩනැගීම් වලින් එකක් විය.
1215දී දකුණු ඉන්දීය ආක්‍රමණ සමඟ පොළොන්නරුව රාජධානියේ අවසානය සිදුවිය. රාජධානියේ බිඳවැටීමත් සමග පොළොන්නරුව වටදාගෙය ජරාවාසව තිබී ඇති අතර පසුකාලීන ඒ පිළිබඳ කිසිඳු සටහනක් දක්නට නැත. 1903දී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් එම භූමියේ බෙල් යටතේ කැණීම් කටයුතු අරම්භ කල අතර ඔහු එම අවස්ථාවේදී එය පස් ගොඩැල්ලක් පමනක් යයි සලකුණු කරගන්නා ලදී.
පිහිටීම සහ පෙනුම
පොළොන්නරුව වටදාගෙයි පිහිටුම, බාහිර වෘත්තයෙන් පහත වේදිකාව දැක්වෙන අතර
දෙවන වෘත්තයෙන් ඉහල වේදිකාව දැක්වේ. ප්‍රතිමා සතරින් ආවෘත ස්තූපය, එමෙන්ම
දොරටු සතර හරහා ප්‍රවේශ වියහැකි ඉහල වේදිකාව මත පිහිටි ඒක කේන්ද්‍රීය ශිලා
ස්ථම්භ ත්‍රිත්වය.
පාදකයේ විෂ්කම්භය අඩි 27 අඟල් 8 (මීටර් 8.43)ක් වූ කුඩා ස්තූපයක් වටා මෙම ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. පහත් වේදිකාව සහ ස්තූපය අඩංගු ඉහල වේදිකාව ලෙස වටදාගෙයි මට්ටම් දෙකකි. ඉහල වේදිකාවෙහි විෂ්කම්භය අඩි 80 (මීටර් 24)ක් වන අතර පහත් වේදිකාවේ අඩි 120 (මීටර් 37)කි. පහත් වේදිකාව පොලොව ම්ට්ටමේ සිට අඩි 4 අඟල් 3 (මීටර් 1.30)ක් උසින් පිහිටා ඇති අතර ඉහල වේදිකාව පහත් වේදිකාවේ සිට අඩි 5 අඟල් 3 (මීටර් 1.60)ක් උසින් පිහිටා ඇත.
උතුරු දිශාවේ ඇති තනි දොරටුවක් හරහා කවාකාර පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැක. විචිත්‍ර ලෙස ඉදිකර ඇති දොරටු සතර, මෙහි සිට අයින ගඩොල් බිත්තියකින් අවෘත වූ ඉහල වේදිකාවට මඟ පෙන්වයි. මෙම දොරටු, සතර කේන්ද්‍රීය දිශාවන්ට දිශානත වී ඇත. ස්තූපය වටා එක් එක් දොරටුව දෙසට මුහුණුලා ඇති බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කොට ඇත. මෙම වේදිකාවේ මධ්‍යය, ස්තූපය මඟින් ආවරණය වී ඇත. එක් එක් බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 5 (මීටර් 1.5)ක් වන අතර එක එකක් උස අඩි 2 අඟල් 10 (මීටර් 0.86)ක් වූ ශිලා ආසන මත තැම්පත් කොට ඇත. ඒක කේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක් ඉහල වේදිකාවේ පැවතී ඇත. ගඩොල් ප්‍රාකාරය තුල පිහිටි මෙම පේළි වලින් දෙකක කිසිවක් ශේෂවී නැති අතර තෙවන පේළිය ඊට පිටතින් දක්නට ඇත. ඇතුලත පේළියේ ස්තම්භ 16ක්ද මැද පේළියේ ස්තම්භ 20ක්ද පිටත පේළියේ ස්තම්භ 32ක්ද තිබී ඇත. දැනට පවත්නා පිටත වළල්ලේ ස්තම්භ වල උස අඩි 8 (මීටර් 2.4)ක් පමණ වේ.
ගෘහ නිර්මාණ ශිල්පය සහ ගල් කැටයම් කළාව
එක් පිවිසුමක් අසල ඇති සඳකඩපහණක්.
පොළොන්නරුව වටදාගෙයින් හමුවන සෘජු, සමමිතික ශිලා ස්තම්භ අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන ඒවාට බොහො සෙයින් සමානවේ. සෑම ශිලා ස්තම්භයකම පාදය නෙළුම් මලක හැඩයට කැටයම් කොට ඇත. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන අනුමාන කරන්නේ මෙම ශිලා ස්තම්භ දැවමය පියස්සක් උසුලා සිටි බවයි. මෙම මතය බොහො අය විසින් පිළිගන්නා අතර මේ සඳහා භාවිතා කල ඇණ සහ උළු කැණීම් වලදී හමුවී ඇත. කෙසේ උවත් අනෙක් මතය වන්නේ වටදාගෙයට පියස්සක් නොතිබූ බවත් පහන්, තිර හෝ බෞද්ධ සංකේත එල්ලීමට ශිලා ස්තම්භ භාවිතා කල බවත්ය.
ඉහල වේදිකාවේ ස්තූපය අසල පිහිටි බුද්ධ ප්‍රතිමා වලින් එකක්. ගඩොල් ප්‍රකාරය පසුබිමෙන් දිස්වේ.
ගලින් කැටයම් කල බුද්ධ ප්‍රතිමා සතර, ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරයි. ඉන් දෙකක් අද වනවිට නිරුපද්‍රිතව පැවතියද අනෙක් දෙකෙහි කොටස් පමණක් ඉතිරිව පවතී. ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබෙන බුබ්බුලාකාර හැඩයට මධ්‍යයේ ස්තූපය ඉදිකර ඇත. මෙහි ඉහල කොටස විනාශවී ඇති අතර ගෝලාකාර හැඩැති පහල කොටස පමණක් දැනට ඉතිරිව පවතී. කෙසේ උවත් සාම්ප්‍රදායික පේසා වළලු ත්‍රිත්වය වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ පේසා වළලු දෙකක් පමණි.
No comments:
Post a Comment