Monday, August 15, 2016


පොළොන්නරුව පෞරාණික නගරය.....

අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.

පොළොන්නරු යූගයේ විසු රජවරු




No comments:

Post a Comment